Saturday, April 27, 2024

General line - 0115112241

මාතර සහ පුත්තලමට නොකඩවා ඇද හැලෙන වැස්සෙන් පුද්ගලයින් රැසකට පීඩා

ටී කේ මහින්ද/ජූඩ් සමන්ත




පවතින වැසි තත්ත්වයත් සමග මාතර දිස්ති‍්‍රක්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 100 ක පුද්ගලයින් 500 ක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සහ මාතර දිස්ති‍්‍රක්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද (30) දිනයේ වසාදැමීමට තීරණය කළා. ඒ, අධික වර්ෂාවත් සමග ගංවතුර සහ නායයාම් අවදානමකට ලක්වීම හේතුවෙන්.

මේ අතර සති දෙකක පමණ කාලයක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8056 ක පුද්ගලයින් 31720 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරනවා.

මෙම තත්ත්වය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක් පුරා බල පා ඇති බවයි පෙන්වා දෙන්නේ.

පසුගිය 14 වැනිදා ආරම්භ වූ වැසි තත්ත්වය මේ වන තුරු නොකඩවා ඇද හැලීම මෙම තත්ත්වයට හේතුව වී තිබෙනවා.

වැසි ජලය බැස නොයාම හේතුවෙන් නිවාස 115 කට අර්ධ හානි සිදුවී ඇති අතර ඉන් නිවාස 23 ක් හානියට පත්ව ඇත්තේ  වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි.

පීඩාවට පත්ව සිටින පිරිස් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක ආරක්ෂිත කඳවුරු 19 ක් ස්ථාපනය කර තිබෙනවා. එම කදවුරු වල පවුල් 1725 ක පුද්ගලයින් 6775 ක් රැඳී සිටින බවද ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළා.