Friday, April 26, 2024

General line - 0115112241

ටෙලෝ පක්ෂයත් සිය තීරණය දන්වයි

මාධව කුලසූරිය




එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගයත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (07) උදැසන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභ‍වේ කැමැත්ත මත තම පක්ෂයේ සහයෝගයද සජිත් ප්‍රේමදාස  වෙත ලබාදීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂයද තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වී ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය 03 වැනිදා වවුනියාව ප්‍රදේශයේ පැවැත්වු සාකච්ජාවකදී පැවසුවේ තම පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළ කිරීමට කටයුතු කරන බවයි.

අදාළ සාකච්ජාවට එක්වු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ආර්.සම්බන්ධන් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කොට දෙමළ ජාතික සන්ධානයේ මතය ඉදිරියේදී දැනුම්දෙන බවයි.

ටෙලෝ පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ටෙ‍ලෝ පක්ෂයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ස්වාධීන අපේක්ෂයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටිනවා.