Saturday, May 4, 2024

General line - 0115112241

රෝයල් පාර්ක් මිනීමැරුම් චුදිතයාට සමාව දෙන්න කියා මා ඉල්ලීම් කලේ නැහැ : ගාල්ල රදගුරු හිමියන් කියයි 




රෝයල් පාර්ක් තරුණිය ඝාතනය කරණ ලද චුදිතයාට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි පිරිස අතර තමන්ද සිටින බවට සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලද නිවේදනය අසත්‍ය බවට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඉවෝන් ජොන්සන් නම් තරුණිය ඝාතනය කිරීම නිමිත්තෙන් මරණ දඬුවම නියමව සිටි ඇන්තනි ජූඩ් ජයමහ යන චුදිතයාට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබූ අතර, ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගත්තේ පාර්ශව ගණනාවකගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කර සිටියා.

මෙලෙස ඉල්ලීම් සිදුකළ බවට දක්වා තිබු පාර්ශව අතරට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් ද සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සිංහල නිවේදනයේ සඳහන්ව තිබුනේ. 

“ජූඩ් ශ්‍රමන්ත ජයමහා වෙනුවෙන් මම ජනාධිපතිවරයාගෙන් හෝ ගෞරවනීය අධිකරණයෙන් ඉල්ලීමක් කර නැති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි” යැයි නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් ප්‍රකාශ කර සිටිනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන ආකාරයට තමන් චුදිතයාව නොහදුනන බවත් ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකර නොමැති බවට මෙහිදී ගාල්ල රදගුරුතුමන් සිය නිවේදනයේ සඳහන් කර සිටියි.

කෙසේ වුවත් තමන් මිට වසර කිහිපයකට පෙර සිරගතව සිටින තරුණ පිරිස් සඳහා යහපත් අධ්‍යාපනයක් ලබාදීමට හැකි හා ඔවුන් තුල ධනාත්මක සිතුවිලි වර්ධනය කරලීම සඳහා උදව් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවත්, එය සිදුකලේද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු තමන් හමුවීමට පැමිණි සිදුකළ ඉල්ලීමක් අනුව බවයි ගාල්ල රදගුරු හිමියන් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

රෝයල් පාර්ක් ඝාතනයේ චුදිතයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා තමන් ඒ සිදුකළ ඉල්ලීම යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එම වැරැද්ද සිදුකරන ලද පාර්ශව ඒ සඳහා වන වැරැද්ද පිළිගත යුතු බවද සිය ලිපියෙන් කරුණු දක්වා ඇත.

එමෙන්ම මෙම ක්‍රියාව නිසා තමන්ටද, ගාල්ල රදගුරු පදවියට මෙන්ම කතෝලික ජනතාවටද විශාල කැළලක් ඇතිව තිබෙන බවයි රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.