Saturday, April 27, 2024

General line - 0115112241

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද සාග් තරඟ බිමේ




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (08) තරඟ වදිනවා. ඒ, බංග්ලාදේශයට එරෙහිවයි. හර්ෂිතා මාධවීගේ නායකත්වය යටතේ මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ තරඟයකදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හමුවේ කඩුලු 07 කින් මීට පෙර පරාජයට පත් වුණා. 

මේ අතර, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සත්කාරක නේපාලය ඊයේ (07) සමත් වුණා. ඒ, මාලදිවයින පරාජය කරමින්. මෙම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාලදිවයින් ක්‍රීඩිකාවන් පන්දුවාර 11 යි පන්දු 03 ක් අවසානයේ රැස් කරගත්තේ ලකුණු 08 ක් පමණයි. ඉන් ලකුණු 07 ක්ම අතිරේක ලකුණු ලෙස වාර්තා වීම විශේෂත්වයක්. මාලදිවයින් කාන්තා කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් පමණක් ලකුණක් රැස් කිරීමට සමත් වූ අතර සෙසු ක්‍රීඩිකාවන් සියලුදෙනාම ලකුණු නොලබා දැවී ගියා. ලකුණු 09 ක පහසු ඉලක්කය නේපාල ක්‍රීඩිකාවන් දෙවන පන්දුවාරයේදී වාර්තා කළේ කිසිවෙකු නොදැවීයි. 

මේ අතර ඊයේ පැවැති කිලෝ ග්‍රෑම් 87 ට වැඩි බර  පන්තියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ  තිමාලි හපුතැන්න සමත්වුණා. කිලෝ ග්‍රෑම් 76 බර පන්තියෙන් කාන්තා බර ඉසිලීමේ ඉසව්වට එක්වූ චතුරිකා වීරසිංහ නව ශ්‍රී ලංකා වාර්තා 02 ක් සමගින් රිදී පදක්කම දිනා ගත්තා. 

ශ්‍රී ලංකාව මේවනවිට දකණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 30 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පසුවන්නේ 03 වන ස්ථානයේයි. රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 83 ක් ද ශ්‍රී ලංකාව දිනා සිටිනවා. මළල ක්‍රීඩා ඇතුළු ඉසව් කිහිපයකින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් සටහනක් තබමින් සුභ පැතුම් එක් කර තිබෙනවා.