Friday, April 26, 2024

General line - 0115112241

සාග් තරගාවලියට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් ඇමති සමාව ඉල්ලයි : සුගතදාස හෝටල් පරිශ්‍රයේ ඩෙංගු රජ දහනක් (PHOTOS)




දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ සහ තවත් 07 දෙනෙකුට උණ රෝගය වැළඳී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගත් සුගතදාස හෝටලයේ මදුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව අනාවරණය වීමත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (09) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

සුගතදාස හෝටල් පරිශ්‍රය සහ ක්‍රීඩාංගන පරිශ්‍රය ඉතා අපිරිසිදු කැලිකසල බහුල පරිශ්‍රයක් වන අතර මේ වනවිට අදාළ හෝටල් පරිශ්‍රය තුළ මදුරු කීටයන් බහුලව ගැවසෙන බව ඊයේ (08) දිනය තුළ කොළඹ නගරසභාවේ වෛද්‍ය නිලධාරී කණ්ඩායම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.

" බොහෝ කාලයකට පසුව රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී දස්කම් දක්වමින් රන් පදක්කම් 36 ක් දිනා ගත්තා. නමුත් මේ තරගාවලියට එක්වූ බොහෝ දෙනා උණ රෝගය වැලදීම නිසා මානසිකව පසුබෑමකට ලක්වුවා. එමෙන්ම උණ රෝගය උත්සන්න වීම නිසා තරගාවලියට සහභාගිවීමට නොහැකිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටිනවා. මේ රටේ ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් මම දරුවන්ගෙන් සමාව ඉල්ලනවා. 

මම මේ දරුවන්ගේ දෙමව්පියන්ට කතා කළා. මේ අයගෙන් වැඩි පිරිසක් ගම්වල ඉතාම අහිංසක දරුවො. මේ රටට කීර්තිය ගෙන දෙන මේ වගේ දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. රටට ක්‍රීඩාවෙන් කීර්තිය ගෙන එන්නට වෙහෙසුණ මේ දරුවන්ට අත්වූ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් මා නිහතමානී ව ඉතා කණගාටුවට පත්වෙනවා. මේක මගේ කාලෙ වුණ දෙයක් නෙවෙයි කියලා ඇඟ බේරාගන්න දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ” අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා.

" සුගතදාස ක්‍රීඩාංගනය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාවකාලික ව නවාතැන් ගන්නා සුගතදාස හෝටල් පරිශ්‍රය මේ අයුරින් කිසිවෙකුගේ අවධානයට යොමු නොවී ඇත්තේ, පසුගිය වසර පහ තුළ සභාපතිවරුන් පස්දෙනෙක්, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, සහ ඇමතිවරුන් සිව්‍දෙනෙක් යටතේ විවිධ තීන්දු ගනිමින් ඉතා පිරිහුණු දේශපාලනයක් මේ තුළ ක්‍රියාත්මක ව පැවතී ඇති නිසා බව ද අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කර සිටියා. 2015 වසරේ මෙම පරිශ්‍රයෙහි ආරම්භ කරන ලද ඇතැම් ඉදිකිරීම් ද වැඩ අවසන් නොකොට ඒ අයුරින්ම තිබෙන අයුරු මෙහි දී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධව අද දිනයේදී ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කර මෙම පරිශ්‍රයෙහි පවත්නා කණගාටුදායක තත්ත්වය සම්බන්ධව එතුමන් දැනුවත් කොට, ඉතා ඉක්මණින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත් කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා කියා සිටියා.

 එමෙන්ම බාධා රැසක් මධ්‍යයෙහි මාතෘභූමිය රනින් සැරසූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දරුදැරියන්ට රජය මැදිහත් වී කිසියම් වන්දි මුදලක් හෝ අනුග්‍රාහක දීමනාවක් ලබාදීමට ද,  පදක්කම්ලාභී දරුවන්ට ජාතික මට්ටමේ ඇගයීමක්  සිදුකිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.  

එමෙන් ම ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යවරයා ‍මෙම ජයග්‍රාහකයින් සහ පසුගිය දා අන්තර්ජාතික කැරම් තරගාවලියෙන් අනුශුරතාව දිනාගත් ශ්‍රී ලාංකික කණ්ඩායම ඉතා ඉක්මණින් හමුවීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.