Friday, April 26, 2024

General line - 0115112241

ජලාශ රැසක වාන් දොරටු තවමත් විවෘතයි : ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි 




මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. මේ නිසා බලපෑමට ලක්වන ප්‍රදේශවල වෙසෙන්නන් ගංවතුර පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගණය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි දෙක බැගින් විවෘතව තිබෙනවා. එවායින් තත්පරයට ඝන අඩි 1,150 බැගින් ජලය කලා ඔයට මුදා හරින බවයි වාරිමාර්ග ඉංජිනේරුවන් පැවසුවේ. තිසා වැව, අභය වැව සහ මහවිලච්චිය වැවද වාන් දමමින් තිබෙනවා. නුවර වැවේ වාන් දොරටු 4ක් ද, මහකනදරාව වාන් දොරටු දෙකක්ද විවෘතයි. 

නුවර වැවෙන් තත්පරයට ඝන අඩි 400ක්ද මහකනදරාව වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 3470ක්ද බැගින් ජලය මල්වතු ඔයට මුදා හැරෙනවා. නාච්චාදූව වාන් දොරටු 04ක්ද විවෘත කර තිබෙන අතර එවායින්ද තත්පරයට ඝන අඩි 970ක් බැගින් ජලය මල්වතු ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග ඉංජිනේරුවන් පැවසුවේ. යාන් ඔය ජලාශයේද වාන් දොරටු 05ක්ද විවෘතව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රිකක්යේ ඉගිනිමිටිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, කිඹුල්වාන ඔය, අඹකොළ වැව සහ බතලගොඩ වැවද වාන් දමමින් තිබෙන බවයි වාරීමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

හම්බන්තොට දිස්ත්‍රිකක්යේ ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 02ක්ද වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06ක්ද විවෘත කර තිබෙනවා. ලුණුගම්වෙහෙර ජලාශයෙන් තප්පරයට ඝන අඩි 1000ක බැගින් කිරිදි ඔයටද වෙහෙරගල ජලාශයෙන් තප්පරයට ඝන අඩි 2250 බැගින් මැනික් ගඟටද ජලය මුදා හරින බවයි වාරි මාර්ග ඉංජිනේරුවන් පැවසුවේ. 

යෝධ ඇලේ සහ මව් ආර ජලාශයේද වාන් දොරටු විවෘත තිබෙනවා. මඩකළපුව, ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මන්නාරම, මොණරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලද ජලාශ කිහිපයක් මෙලෙස තව දුරටත් වාන් දමමින් තිබෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.