Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනේ (VIDEO)




පාර්ලිමේන්තු රන්ජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුවයි.

අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද නියෝග කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ගොනු කරනු ලැබූ අතර ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් එම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් අතර සිදු වූවායැයි කියන දුරකථන සංවාද මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර එම සංවාද පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතු වලට අනිසි බලපෑමක් සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

රංජන් රාමනායක මන්ත්‍රිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ (2) ව්‍යවස්ථාවෙන් කියවෙන ආකාරයට අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ වරද සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.