Wednesday, May 8, 2024

General line - 0115112241

චීනයේ නගර රැසක් වසා දමයි : තීරණාත්මක තීන්දුවක් ගන්න සෞඛ්‍ය සංවිධානය රැස්වෙයි 




චීනයේ පැතිරෙමින් තිබෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට Huanggang නගරයේ ජනතාවට ඉන් පිටව යාම තහනම් කරමින් නියෝගයක් පනවා තිබෙනවා. ඊට අමතරව  Ezhou නගරය විසින් සිය දුම්රිය සේවාවන් නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් තම නගරයට ඇතුල්වීම වළක්වාලීමේ අරමුණින් බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

නව කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් මේ වන පුද්ගලයින් 17 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 500කට අධික බවයි.

මේ වන විට චීන බලධාරීන් විසින් නව කොරෝනා වෛරසය පැතිරීයාම ආරම්භ වූ උහාන් ප්‍රාන්තයේ ජිවත් වන ජනතාවට ඉන් පිටතට යෑම සපුරා තහනම් කර තිබෙනවා. උහාන් ප්‍රාන්තයේ මිලියන 11ක පමණ ජනතාව ජිවත් වනවා.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි රැස්වීමක් කැඳවනු ලැබුවා. එහිදී චීනය විසින් ලබා දී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවත් මේ සම්බන්ධයෙන් අද දිනයේදී තව දුරටත් සාකච්ජා කොට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර සිටියා.

මේ වන විට තායිලන්තය, දකුණු කොරියාව, අමෙරිකාව, තායිවානය, ජපානය ඇතුළු රටවල් කිහිපයකින් මෙම වෛරසයට ගොදුරුවූ රෝගීන් වාර්තාවී ඇත. මේ අතර හොංකොං නගරයෙන් ද කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් දෙදෙනෙක් වාර්තාවී ඇත.

මේ අතර නව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ උහාන් නගරයේ වැසියන් මේවනවිට මානුෂීය ගැටලු කිහිපයකට ද මුහුණ පාමින් සිටින බව සඳහන්. ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අධි අවදානමක් දක්වා වර්ධනය වීමත් සමගයි. ඒ අනුව උහාන් නගරය හා බාහිර පාර්ශවයන් අතර පවතින සියලු සබඳතා කප්පාදු කරමින් පොදු ගමනාගමන සේවය අත්හිටුවීමටත්, නගරයෙන් පිටවීම හා ඇතුළුවීම වැළැක්වීමටත් බලධාරීන් පියවර ගත්තා.

මේ සමගම නගරය තුළ ආහාර හිගයක් ද හටගනු ඇති බවටයි උහාන් වැසියන් බිය පළකරන්නේ. උහාන් නගරයේ පිහිටි සුපිරි වෙළඳසැල්වල තිබූ භාණ්ඩ තොග ද මේ වනවිටත් අවසන් වෙමින් තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳසැල්වල භාණ්ඩ අලෙවි වන්නේ ඉතා ඉහළ මිල ගණන් යටතේ බවටයි නගර වැසියන් චෝදනා කරන්නේ.

එහෙත් මුහුණු ආවරණ සඳහා පවතින ඉල්ලුම ඉතා අධික බැවින් එම කර්මාන්තය ආශ්‍රිතව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නගරය තුළ පවතින ජීවිත අවදානම් බිය හා පාළු ස්වභාවය හේතුවෙන් තමන් ලෝක විනාසයට මුහුණපා සිටින හැගීමක් දැනෙන බව ද උහාන් වැසියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමට අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් මේවනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව 17 ක්. මෙලෙස මියගිය පුද්ගලයින්, 45 ත් 89 ත් අතර වයස් කාණ්ඩයන්ට අයත්. එසේම මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු සිරෝසිස්, අධි රුධිර පීඩනය, දියවැඩියාව හෝ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයින් බවයි පැවසෙන්නේ.