Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා අවදානමේ සිටින සිසුන් 150 ක් කඩිනමින් දිවයිනට




කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවර සිටින සිසුන් 150 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ සඳහා විශේෂිත වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් පිටත් කර හරිනු ඇති. නැනින්හි නගරයේ සිසුන් 30 දෙනෙකු ඇතුලු චීනය තුළ අධ්‍යාපනය ලබන සිසුන් 790 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යයාලය වෙත මේ වනවිටත් ලැබී තිබෙනවා. 

වූහාන් ප්‍රාන්තයට පිවිසීම සහ පිටවීම චීන බලධාරීන් දැනටමත් තහනම් කර අවසන්. ඒ අනුව එහි සිටින සිසුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වන්නේ එම තහනම ඉවත් කිරීමෙන් පසුවයි. 

විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ පැවසුවේ චීනය පුරා විසිරී සිටින සියලු සිසුන් සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බවයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ වෛරසය පැතිර යමින් ඇති වූහාන් සහ සිචුආන් යන ප්‍රාන්තවල සිටින සිසුන් ඇතුලු සියලු ශ්‍රී ලාංකිකයින් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලසන ලෙසයි. 

ඒ අනුවයි ජනාධිපති කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත්තේ.