Friday, April 26, 2024

General line - 0115112241

දඩ ගෙවීමට නොහැකිව සිරගතව සිටින පුද්ගලයින් ගැන රජයේ අවධානය 




බන්ධනාගාර ගත රැදවියන් රිමාන්ඩ් සිරකරුවන් සහ දඩ ගෙවීමට නොහැකිව සිරගත වී සිටින පුද්ගලයින් හේතුවෙන් බන්ධනාගාරවල ඇති වී තිබෙන අධික තදබදය සම්බන්ධයෙන් කඩිනම් පිළියම් යෙදීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැතියා.

බන්ධනාගාර ගත රැදවියන් රිමාන්ඩ් සිරකරුවන් සහ දඩ ගෙවීමට නොහැකිව සිරගත වී සිටින පුද්ගලයින් හේතුවෙන් බන්ධනාගාරවල ඇති වී තිබෙන අධික තදබදය සම්බන්ධයෙන් කඩිනම් පිළියම් යෙදීම පිළිබදව 2019 දෙසැම්බර් මස 13 වන දින ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අදාළ ගැටළුවට විසදුම් සෙවීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුව තිබෙනවා.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් රැදවියන් බන්ධනාගාර ගතව සිටින බව සාකච්ඡා විය. රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛණ සංශෝධනය කර හෝ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස මෙහිදී අමාත්‍යවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන්ට ලබා දෙන පුනරුත්ථාපනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමටත් පුනරත්ථාපන ස්ථානවල වෘත්තිමය භාවය පරීක්ෂා කිරීම පිළිබදවත් අවධානය යොමු විය.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනු ලබන පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු  ලබන්නන් වෙන වෙනම හදුනා ගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු බවත් රැදවියන්ට ලබා දෙනු ලබන පුහුණුවීම් ඔවුන් යොදවන කාර්යයට අනුව ලබා දිය යුතු බවට සාකච්ඡාවට ලක්විය.

බරපතල ගණයේ ඇතැම් අපරාධ සිදු වු විට ඊට බන්ධනාගාර තුළ සිටින  රැදවියන් දුරකථන ඇමතුම් ලබා දුන් අවස්ථා ද ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කළ බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එහිදී පෙන්වා දුන් අතර ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් එවැනි කටයුතු සම්පුර්ණයෙන්ම නතර කළ යුතු බවට අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටියා.

විවිධ හේතුන් මත අධිකරණ මගින් ඇප ලබා නොදීම, ඇප ලබා දී ඇතත් ඇප කොන්දේසිවල ඇති දැඩි භාවය හේතුවෙන් ඇප තබා ගැනීමට නොහැකිව රදවා සිටින සැකකරුවන්, රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම, පොලිස් පරීක්ෂණ අවසන් නොවීම නිසා ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ වීම වැනි විවිධ කරුණු හේතුවෙන් බන්ධනාගාර තදබදය වැඩී වි ඇති බවට එහිදී අනාවරණය විය.

මහේස්ත්‍රාත් අධිකරණයන්හි ඇති තදබදය යම් ප්‍රමාණයකින් අවම කිරීම සදහා දැනට කම්කරු ආඥා පනත යටතේ මුදල් අය කර ගැනීම සදහා කරනු ලබන ඉල්ලීම් පෙර පරිදිම කම්කරු විනිශ්චය සභාවන්ට යොමු කිරීම සුදුසු බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. කම්කරු විනිශ්චයකාරවරුන් 35 දෙනෙක් ඇති බවත් එම අධිකරණයන්හි තදබදයක් නොමැති හෙයින් මීට පෙර මෙවැනි නඩුකරයන් විසදීම ඔවුන්ට ලබා දුන් බලතල නැවත ලබාදීම පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

දරුණු අපරාධකරුවන් පාතාල කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් හා මහා පරිමාණයේ ජාවාරම්කරුවන් විවිධ බන්ධනාගාරවලට මාරු කිරීම නඩු සදහා තැනින් තැනට ගෙන යාම ඔවුන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා නඩු විභාගයට නොගෙන කැදවීමේ දිනයන් හිදී විනිශ්චයකාරවරයෙකු බන්ධනාගාරයට ගොස් එම නඩු කටයුතු කිරීමත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුකරයන් සදහා දින ලබාදීමත් ප්‍රායෝගික බව පෙන්වා දුන්නා.

ලොව අපරාධ අඩුවෙන්ම සිදු වන රට වන සිංගප්පුරුවේ වසරකට 40 ක් පමණ මරණ දඩුවමට ලක් කරන බව සාකච්ඡා වු අතර ඒ අනුව දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව සාකච්ඡා විය.