Friday, April 26, 2024

General line - 0115112241

වුහාන්හි සිට පැමිණ දියතලාවේ රඳවා සිටි පිරිස නිවෙස් කරා ගමන් අරඹති




කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනයේ වුහාන්හි සිට ශ්‍රී ලංකාවට කැටුව විත් දියතලාව යුද්ධ හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක රඳවා සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස අද ඔවුන්ගේ නිවෙස් කරා පිටත්කර හැරෙනවා.

පෙරවරු 10 ට පමණ ඔවුන් විශේෂ බස්රථයකින් දියතලාවෙන් පිටත්ව ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අකුරේගොඩ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැටුව ඒමට නියමිතව තිබෙනවා. එහිදී ඔවුන් යුද්ධ හමුදාපතිවරයා මුණගැසීමට නියමිතයි. පසුව මෙම ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස් කරා පිටත්කර හරින බව යුද්ධ හමුදාව පැවසුවා. 

චීනයේ වුහාන්හි කොටුවී සිටි මෙම ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේයට අයත් විශේෂ යානයකින් ශ්‍රී ලංකාවට කැටුව ආවේ ඉකුත් පළමුවනදායි. කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසානය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන් දින 14 ක නිරෝධායන කාලයක් දියතලාව යුද්ධ හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටියා. 
ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්. ඔවුන්ගෙන් කිසිවෙකු නිරෝධායන කාලය තුළ සැක සහිත රෝග ලක්ෂණ පෙන්වා නැහැ. ඒ අනුවයි ඔවුන් නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගැනෙන්නේ. 

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 1,491 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ පමණක් සිදුව ඇති මරණ ගණන 124 ක්. මේවායින් මරණ 123 ක්ම වාර්තා වුණේ චීනයෙන්. අනෙක් මරණය ජපානෙයන් වාර්තා වුණා. ජපානයේදී මෙලෙස මියගොස් ඇත්තේ කෝවිඞ් 19 වෛරසය ආසාධනය වී රෝහල්ගතව සිටි 80 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්. ජපානයෙන් වාර්තා වූ පළමු කොරෝනා මරණය ද මෙය වුණා.

මේවනවිට චීනයේ පමණක් කෝවිඞ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 64,658 ක් සිටිනවා. වෛරසය පැතිර ඇති අනෙක් රටවල් ද ඇතුළුව වාර්තා වන මුළු ආසාධිතයින් ගණන 65,246 ක්.

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වූ එක් අයෙකු පමණක් ශ්‍රී ලංකාවෙන් මීට පෙර හඳුනා ගැනුණා. ඒ, සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක්.