Friday, April 26, 2024

General line - 0115112241

30/1 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය




අමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාවෙන් ඉවත්වීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ බව කියාසිටියා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

සයින්දමරුදු වෙනම පරිපාලන ඒකකයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ කිසියම් එක් ප්‍රදේශයකට විශේෂ සැලකීමක් නොකර රටපුරාම ඇති අවශ්‍යතා සලකා බැලීමේ අදහසින් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි. 

සයින්දමරුදු මීට පෙර කල්මුණේ මහ නගර සභාව යටතේ පැවතියා. එය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මතභේදාත්මක ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් 14 වනදායි. 

මේ අතර සේවය අතහැර ගිය පොලිස් නිලධාරීන් 6,000 කට ආසන්න පිරිසක් යළි සේවයට බඳවා ගැනීම සදහා අභියාචන කමිටුවක් පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

2020 යල කන්නයේ සිට ගොවීන් වෙත කන්න 04 ක් කාබනික පොහොර නොමිලේ ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.