Saturday, April 27, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යයේ පලවන අසත්‍ය පුවතක් ගැන එජාප මහලේකම් ගෙන් පැහැදිලි කිරීමක්




එළඹෙන මහ මැතිවරණයේදී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට ඇති නීතිමය තත්වය සොයාබැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් ඊයේ (19) මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන්ව හමු වුණා.

එම අවස්ථාවට  හමුවීමට පක්ෂයේ මහ ලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්,  ජාතික සමගි බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එ.ජා.ප. උපනායක රවී කරුණානායක එක්ව සිටියා.

එහිදි සාකච්ඡා වූ කරුණු ගැන මාධ්‍යයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ හංසයා ලකුණ තවත් පක්ෂයකින් ලබාගෙන තරග කිරීමේදී නැවත එම හංසයා ලකුණ එකී පක්ෂයට භාවිතා කිරීමට වසර පහක් ගතවන බැවින් එතැනදී ගැටළුවක් මතුවූ බවයි. 

මෙම තත්වය මත තරග  වදින ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට එම සාකච්ඡාවේදී නොහැකි වූ බවට සිදුවූ සිදුවීම ප්‍රකාශ කරනු ලැබුවා.

එහෙත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර ජාතික ජන බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ  මහලේකම්වරයා පැවසූ බවට ඇතැම් වෙබ් අඩවි හ සමාජ ජාලා තුල සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම වැරදි බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පක්ෂයේ සමගිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් සියලු දෙනා කටයුතු කරන මේ මොහොතේ එවැනි අසත්‍ය තොරතුරු පතුරවන පිරිස දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවට ඔහු තවදුරටත් සඳහන් කළා.

මෙම තත්වය යම් පිරිසක් විසින් ඉතාම සුක්ෂමව සිදුකරන පහත් පෙලේ කුමන්ත්‍රණයක් බැවින් මෙවැනි අසත්‍යය තොරතුරු වලින් නොමග නොයන ලෙසටත්, සත්‍යය වෙනුවෙන් තමා හැම මොහොතකම කටයුතු කරන බවටත්, මෙවැනි අවස්ථාවකදී අසත්‍යය කටකථා පන්නයේ ඇතැම් පුවත් පලකරන්නන්ගෙන් බේරී කටයුතු කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඉල්ලා සිටිනවා.