Friday, April 26, 2024

General line - 0115112241

නිවසටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙලක් : බැංකු විවෘතව තැබීමට උපදෙස් 




සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතින බැවින් එම ද්‍රව්‍ය ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිමේ ක්‍රමවේදයක් සකස් කළ හැකි බව බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකි බවත් එම ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේද සහය ලබා ගැනීමට නියමිත බවයි මෙහිදී සාකච්ජා කෙරුණේ.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කර ඇත. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කර ඇත.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානින්ට දැනුම් දී ඇත.

දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසද බැසිල් රාජපක්ෂ එම ආයතනවලින් ඉල්ලා සිටිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව  දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 

වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කර ඇති අතර එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දී ඇත.

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කර ඇත.

සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය කේෂ්ත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතු බවත් ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වී තිබෙනවා. ගොවියා සහ දේශීය ආර්ථිකය  සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇත.

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානින්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානින් සහ  නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියා.