Friday, April 26, 2024

General line - 0115112241

පැය 6ක් තුල ඇඳිරි නිතිය කඩ කළ පුද්ගලයින් 115ක් අත්අඩංගුවට 




රට පුරා ඇදිරි නීතිය පනවා තිබියදීත් ඒ බව නොසලකා කටයුතු කරන්නන් සම්බන්ධයෙන් තවදුරටත් විවධ ප‍්‍රදේශවලින් වාර්තා වනවා. අද පෙරවරු 06.00 සිට දහවල් 12.00 දක්වා පැය 06 ක කාලයේදීත් එලෙස ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය වූ වාහන 23 ක් ද මෙම පැය 6 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව ඉකුත් 20 වනදා පස්වරු 06 ට ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 2,797ක්. වාහන 729 ක් ද මෙම කාලය තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායනය මගහරිමින් මහජනතාව සමග ගැවසෙන පුද්ගලයින්ද තවදුරටත් සිටිය හැකි බවයි පොලිසිය පවසන්නේ. එවැන්නන් හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව ද මෙහිදී නැවත සිහිපත් කෙරුණා. 

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න.

නිරෝධායනය මගහරිමින් මහජනතාව සමග ගැවසෙන පුද්ගලයින් පිළිබඳ දැනුම් දීමට දුරකථන අංක 03 ක් ද විවෘත කර තිබෙනවා. 119, 011 2 44 44 80 සහ 011 2 44 44 81 එම දුරකථන අංකයි.

මේ අතර, විදෙස්ගතව සිට ශී‍්‍ර ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් නොවී සිටින්නන් බවට ඉකුත් 23 වනදා නිවේදනය කෙරුණු පිරිසෙන් දරුවන් තුන්දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව දැන් මව්පියන් භාරයේ සුරක්ෂිතව සිටින බව පොලිසිය අද තහවුරු කළා. ඒ, කෙනෙත් සත්සර උස්හෙට්ටිගේ, මනුල්දි අසුරමාන්න පේඩිගේ සහ ෆෙරී රිසෙල්යා පිගරේරු යන අයයි.

ඒ අනුව මෙම දරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමසිලිමත් වීම අවශ්‍ය නොවන බව ද, මව්පියන්ට සිදු වූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බව ද පොලිසිය පැවසුවා.