Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වැළඳී සුවය ලැබූ රෝගීන් පිටත් කර හැරීම ගැන IDH රෝහලෙන් පැහැදිළි කිරීමක්




නිරෝධායනය අවසන් කළ තවත් 163 දෙනෙකු අද (26) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි. ඊයේ (25) දිනයේ ද පුද්ගලයින් 144 දෙනෙකු  නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගිය බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

මේ අතර නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව යන පිරිස් සම්බන්ධයෙන් කිසිවෙකු සැක ඇති කර නොගත යුතු බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා. IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම ඒ පිළිබඳ සඳහන් කළා.

නව කොරෝනා ආසාදිතව මේවනවිට IDH උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් පිළිබඳව ද කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මෙහිදී කරුණු පැහැදිළි කළා.

එහිදී සඳහන් කළේ "දැනට රෝගය වැළඳී ඇති අයගෙන් 03 දෙනෙක් පමණක් තරමක් අසාධ්‍ය තත්ත්වයේ සිටිනවා. අනෙක් අය සාමාන්‍ය තත්ත්වයන් යටතේයි ප්‍රතිකාර ලබන්නේ. අද දිනයේත් රෝගීන් සුව වී රෝහලෙන් පිට කර යැවීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලැබෙන වෛද්‍ය වාර්තා අනුව. අපි රෝගියෙක් නිවසට පිටත් කරලා යවනකොට ඔහුට ඒ රෝගය නෑ කියලා.. වෛද්‍ය වාර්තා දෙකක්ම තහවුරු කරගෙන තමයි පිටත් කරලා යවන්නේ." යනුවෙනි. 

නව කොරෝනා ආසාදිත බවට ශ‍්‍රී ලංකාවේදී මේ දක්වා හඳුනා ගැනුණු මුළු සංඛ්‍යාව 102 ක්. ඔවුන්ගෙන් 03 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.