Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව අනතුරේ දැමු ආගමික රැස්වීමට ලංකාවෙන් 33 දෙනෙක් : රැස්වීමට සහභාගී වූ 600 කට අධික පිරිසකට කොරෝනා වෛරසය වැළදිලා




ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි ඉස්ලාමිය දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් ඇතුළු විදේශිකයින් 960 දෙනෙකුට ලබාදී තිබු සංචාරක වීසා බලපත්‍ර අවලංගු කිරීමට එරට මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Tablighi Jamaat නම් සංවිධානය විසින් පවත්වනු ලැබූ මෙම උත්සවයට 1300 කට අධික පිරිසක් සහභාගිවී සිට ඇති බවයි ඉන්දීය රජයේ බලධාරින් සඳහන් කර සිටින්නේ. මෙම සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා මේ වන විට අතුරුදහන්ව ඇති අතර ඔහුව සොයා එරට ආරක්ෂක බලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එම රැස්වීම සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 647 දෙනෙක්ට මේ වන විට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරුවී තිබෙනවා. එම රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත 14කින් සොයා ගෙන ඇති බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම රැස්වීම සඳහා අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය, ඉන්දුනීසීයාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 42කින් විදේශිකයින් 960 දෙනෙක් පැමිණ ඇති බව සඳහන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා ඉන්දියාවම වසා තැබීමට අගමැති නරේන්ද්‍ර මෝදී පියවර ගෙන තිබියදීත් දිල්ලී අගනුවර පිහිටි මෙම Tablighi Jamaat සංවිධානයේ දේවස්ථානයේ මෙම 1300 කට අධික පිරිසක් ඒක රාශිව සිට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ හේතුවෙන් දිල්ලි අගනුවර ඉන්දියාවේ කොරෝනා වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්වු අතර එම රැස්වීමට සහභාගිවූ ඉන්දියානු ජාතිකයින් විවිධ ප්‍රාන්ත කරා ගොස් තිබු බැවින් ඔවුන්ව සොයා මේ වන විට එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ Tablighi Jamaat නම් සංවිධානයේ සමුළුවට සංචාරක වීසා මත සහභාගිවූ විදේශිකයින් අසාදු ලේඛණ ගත කොට ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ඉන්දියාවේ මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.