Saturday, April 27, 2024

General line - 0115112241

කි‍්‍රකට් යළි ඇරඹීමේ අයි.සී.සී මාර්ගෝපදේශන මාලාව ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රශ්න කරයි




කි‍්‍රකට් කී‍්‍රඩාව සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප‍‍්‍රකාශයට පත්කළ  මාර්ගෝපදේශන මාලාව සම්බන්ධයෙන් බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩක ශකීබ් අල් හසන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා. 

ඔහු පවසන්නේ නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නිසි තක්සේරුවක් නොමැතිව කි‍්‍රකට් ක‍්‍රීඩාව නැවත ආරම්භ කිරීම සුුදුසු නොවන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු සීමාවන් රටවල් කිහිපයක ලිහිල් කිරීමත් සමග එම රටවල කි‍්‍රකට් ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට සහය වීමක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම මාර්ගෝපදේශන මාලාව ප‍‍්‍රකාශයට පත් කළා. 

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් කී‍්‍රඩාව ආරම්භ කිරීම සදහා මෙම මාර්ගෝපදේශන මාලාව සකස් කර ඇත්තේ එම කවුන්සිලයේ වෛද්‍ය උපදේශක කමිටුව විසින්. 

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වී නැවත ක්‍රීඩාව ආරම්භ කළ හැකි ආකාරය පිළිබද ප‍‍්‍රායෝගික යෝජනා පමණක් මෙමගින් ලබා දෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප‍්‍රකාශ කළේ.

ඒ අනුව ක්‍රිකට් නැවත ආරම්භ කිරීම සදහා ප‍‍්‍රතිපත්තියක් සකස් කර ගැනීම වෙනුවෙන් මෙම මාර්ගෝපදේශන උපයෝගී කර ගන්නා ලෙස ද එම කවුන්සිලය සිය සාමාජික රටවලට දැනුම් දී තිබෙනවා. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා අදාළ රටවල රජයන් විසින් පනවා ඇති නීතිවලට ප‍‍්‍රමුඛතාව ලබාදෙමින් එම මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කළ යුතු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.    

තරග අතරතුර දී ශරීර සම්බන්ධතා සහිත සැමරුම් සිදු කිරීමෙන් වළකින ලෙසත්,  කී‍්‍රඩකයින් සහ විනිසුරුවන් කී‍්‍රඩා පිටියේ දීත්, ඉන් පිටතදීත් සම්මත පුද්ගල දුරස්ථභාවය රදවා ගත යුතු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප‍‍්‍රකාශයට පත් කළ මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත්. 

පුහුණුවීම්වලදී ද කී‍්‍රඩකයින් මීටර් එකහමාරක දුරක් හෝ සිය රටේ සෞඛ්‍ය බළධාරීන් ප‍‍්‍රකාශ කරන දුර ප‍‍්‍රමාණයකින්  එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම සිදු කළ යුතු වනවා.

හිස් වැසුම්, අව් කණ්ණාඩි, ඇදුම් වැනි පෞද්ගලික උපකරණ විනිසුරුවන් අතට හුවමාරු කිරීමෙන් වැළකිය යුතු බවද එම මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත්. 

පන්දුව සමග සම්බන්ධ වූ අවස්ථාවන්වලදී ක‍්‍රීඩකයින් නිරතුරුවම විෂබීෂ නාශක දියර යොදා අත් පිරිසිදු කර ගත යුතුයි. විනිසුරුවන් විසින් පන්දුව ඇල්ලීම සදහා අත් ආවරණ යොදා ගැනීම පිළිබද සලකා බැලිය යුතු බව ද එම මාර්ගෝපදේශන මාලාවේ සදහන් කර තිබෙනවා.

එමෙන්ම පන්දුව පිරිමැදීම සදහා පන්දුවේ දෝලනය සදහා කෙළ යොදා ගැනීම තහනම් කිරීම ඇතුළු තවත් කරුණු රැසක් ජාත්‍යන්තර කි‍‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වනවා.