Friday, April 26, 2024

General line - 0115112241

තොන්ඩමන් කළ අවසන් සාකච්ඡාව ගැනත් තොරතුරු එළියට




අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය තවමත් තීරණය කර නැහැ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තලංගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (26) රාත‍්‍රියේ ඔහු අභාවප‍්‍රාප්ත වුණා.

ඒ බව සැලවීමත් සමග අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද තලංගම මූලික රෝහල වෙත පැමිණි බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊයේ පස්වරු 6.00 පමණ වන තෙක් ද ආරුමුගම් තොණ්ඩමන් මහතා තමන් සමඟ සාකච්ඡාවක යෙදී සිටි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වෙත එහිදී කියා සිටියා. මෙම සාකච්ඡාවේදී ද ආරුමුගම් තොණ්ඩමන් මහතා විශේෂ අවධානයක් දුන්නේ වතුකර ජනතාවගේ සුභසාධනය පිළිබඳ බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමුවූ බව වාර්තා වුණා.

යාපනයේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

ආරුමුගම් තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසියේ සිය මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මඟ යමින්. 1994 වසරේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩු කිහිපයක් යටතේම විවිධ අමාත්‍ය ධුර හොබවනු ලැබුවා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු කටයුතු කරමින් සිටියේ ප‍්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙසයි. 

වතුකරයේ කැපී පෙනෙන දේශපාලන බලයක් හිමි ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයා ලෙසද ආරුමුගම් තොණ්ඩමන් මහතා කටයුතු කළා. 1964 වසරේ මැයි මස 29 වන දා උපත ලබා ඇති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප‍්‍රාප්ත වනවිට පසුවූයේ 55 වියේයි.