Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාවේ විරෝධතාකරුවන්ගේ කලබල මැද ජෝර්ජ්ගේ මරණය පරීක්ෂණ වාර්තාවත් පිට වෙයි




අමෙරිකාව උණුසුම් කරමින් විරෝධතා ආරම්භවීමට හේතුවු කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණය, මිනී මැරුමක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ගෙල සිර කිරීම හේතුවෙන් ඇති වූ හෘද්‍යාබාධයක් මත ඔහු මියගිය බවටයි එහි දැක්වෙන්නේ. මෙම වාර්තාව නිකුත් වූයේ ඇදිරි නීති රෙගුලාසි පවා කඩකරමින් අමෙරිකාවේ ආරම්භ වූ විරෝධතා තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනිමින් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමකයි.

මේ අතරතුර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසුවේ අමෙරිකාවේ විරෝධතාවයන් පාලනය කිරිමට ප‍්‍රාන්ත බලධාරින් ක‍්‍රියා නොකරන්නේ නම් තමන් හමුදාව යොදවන බවයි. ඉකුත් දින කිහිපයේදී ඇතිවූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයාව ධවල මන්දිරයේ පිහිටි භූගත ආරක්ෂිත බංකරයකට රැගෙන යාමට එරට ආරක්ෂක අංශවලට සිදුවුණා. ඉන් පිටතට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කරමින් මෙම අදහස් පළ කළා.

පසුව ඔහු ධවල මන්දිරයේ සිට පාගමනින් ගොස් ශාන්ත ජෝන් දේවස්ථානයේ දී සිය ගෞරවය දැක්වූවා. ඉකුත් ඉරිදා ඇතිවූ විරෝධතාවයේදී මෙම දේවස්ථානයේ ගින්නක්ද හට ගැණුනා. මෙම දේවස්ථානයට අමෙරිකානු ජනාධිපතිවරුන් රැසක් ආගමික වතාවත් වලට සහභාගිවූ බැවින් එය සැලකෙන්නේ ” ජනාධිපති දේවස්ථානය” යන අනවර්ථ නාමයෙන්.

ජනාධිපතිවරයාට දේවස්ථානය වෙත යාම සඳහා ආරක්ෂක භටයින් විසින් රබර් උණ්ඩ වෙඩි ප‍්‍රහාරයක් සහ අශ්වාරෝහක සෙබළුන් යොදවා පිරිස විසුරුවා එය ඉදිරිපිට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමද විශේෂත්වයක්.

අමෙරිකාව පුරා තවදුරටත් විරෝධතා පවතින්නේ එරටින් කොරෝනා ආසාදිතයින් තවදුරටත් වාර්තාගත ලෙස වැඩිවෙමින් ඇති පසුබිමකයි. ගත වූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් අලූතින් රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තා වුණා. ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට 63 ලක්‍ෂ 73,494 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 77,579 ක්.