Friday, April 26, 2024

General line - 0115112241

ට‍්‍රම්ගේ තීරණයක් ගැන ජර්මනිය කණස්සල්ලෙන්




ජර්මනියේ සිටින අමෙරිකානු හමුදා භටයින් 9,500 ක් එරටින් ඉවත් කිරීමට අමෙරිකාව ගත් තීරණයත් සමග, දෙරට අතර සබඳතා සංකීර්ණ මට්ටමකට පැමිණ ඇති බව ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් පවසනවා. ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජර්මනියෙන් අමෙරිකානු හමුදා භටයින් ඉවත් කරගැනීමේ තීරණය සම්බන්ධයෙන් කණගාටු වන බවයි. 

ජර්මනියේ සිටින අමෙරිකානු හමුදා භටයින් 9,500 ක් එරටින් ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත් තීරණයත් සමග ජර්මනියේ දැනට සිටින 34,500 ක් වූ අමෙරිකානු හමුදා බල ඇණිය 25,000 ක් දක්වා අඩු වනු ඇති. කෙසේ වෙතත්, අමෙරිකාව පවසන්නේ මෙම තීරණය ජර්මනිය සමග පවතින ද්විපාර්ශවික සබඳතා පළුදු කර ගැනීමට හේතුවක් කර නොගත යුතු බවයි.

අමෙරිකාව විසින් විශාල හමුදා බල ඇණියක් ජර්මනියට අනියුක්ත කර වැඩි සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් යුරෝපයේ අනෙක් රටවල් කණස්සල්ලට පත්ව තිබීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජර්මනියෙන් ඉවත් කෙරෙන අමෙරිකානු හමුදා භටයින් පෝලන්තය ඇතුළු තවත් මිත‍්‍ර රටවලට යැවීමට නියමිත අතර, තවත් පිරිසක් යළි අමෙරිකාවට ගෙන්වා ගැනීමට නියමිතයි. 

නේටෝ සංවිධානයේ එකඟතාවයන්ට අනුව මිත‍්‍ර රටවල් සඳහා ආරක්ෂාව ලබා දීමට අමෙරිකානු හමුදා බල ඇණි එලෙස අනියුක්ත කර තිබෙනවා.