Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව කාන්තාවන්ට සුරක්ෂිතයිද ? ගාලුමුවදොර පිටියේදී හිරිහැරයට ලක්වූ කතක් තැබූ ෆේස්බුක් සටහන




කොළඹ, ගාලුමුවදොර අසලදී තමන්ට තරුණයින් පිරිසක් විසින් හිරිහැර කළ බවට විදේශීය කාන්තාවක් ප්‍රකාශ කර සිටිනවා. මෙම සිදුවීම ඊයේ (05) රාත්‍රියේ සිදුව තිබෙනවා.

එම විදේශීය කාන්තාව විසින් තම ෆේස්බුක් ගිණුම හරහා මුහුණ දීමට සිදුවූ හිරිහැරය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් ගැන වීඩියෝවක් පළ කොට තිබෙනවා.

සිය මිතුරන් තිදෙනෙකු සමග ගාලුමුව දොර පිටියේ ගමන් කරමින් සිටියදී 10 දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයින් පිරිසකගෙන් තමන්ට එම හිරිහැරය සිදුවූ බවයි එම විදේශීය කාන්තාව සඳහන් කළේ.

අධික ලෙස මත්පැන් පානය කොට සිටි එක් තරුණයෙකු තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුනු බවත් ඊට මැදිහත් වීමට උත්සහ කළ සිය මිතුරෙක්ටද ඔවුන් පහරදුන් බවයි එම කාන්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

තමන් එම සිදුවීම රූගත කරන බව දැන ගැනීමෙන් අනතුරුව ඔවුන් තමන් අත්හැර පළා ගිය බවද එම විදේශීය ජාතික කාන්තාව සඳහන් කර සිටිනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට දැනුවත් කලද ඔවුන් එම ස්ථානයට ලඟා වන විට මිනිත්තු 20ක පමණ කාලයක් ගතවූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ගේ ජායාරුපය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කරමින් ඔහුව හඳුනා ගැනීමට තමන් මහජන සහය පතන බවත් ඇය එහි සටහන් කොට තිබෙනවා.

මෙලෙස හිරිහැරයට ලක්ව ඇත්තේ රුසියානු ජාතික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.