Friday, April 26, 2024

General line - 0115112241

කිලිනොච්චියේ පිපිරීමට සම්බන්ධ හිටපු කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට




කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ නිවෙසක් තුළ ඉකුත් දා සිදුවූ පිපිරීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ සහ කිලිනොච්චිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය කලාපයට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙක්. 

සැකකරු හිටපු LTTE සාමාජිකයෙකු වන අතර පුනරුත්තාපනය වීමෙන් අනතුරුව ඔහු සිවිල් ආරක්ෂක බලකායට එක්ව තිබෙනවා. 

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු හිටපු LTTE සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ මේවනවිට ත‍්‍රස්ත විමර්ශන භාරයේ රඳවා තබා වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. 

එම ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ නිවෙසක ඉකුත් දා සිදුවූ අදාළ පිපිරීමෙන් පසුව එම නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ හිටපු LTTE සාමාජිකයෙකුගේ ඡායාරූපයක් සොයා ගැනුණා. 

සැකකරුවන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේ කුමන කටයුත්තක් වෙනුවෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

කෙසේවෙතත්, අදාළ සිදුවීමෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි කිරීම් ද සිදුකෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර නාවලපිටිය, මා වතුර, දඹගල්ල ප‍්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලීසිය පවසනවා. 

එම දිය නෑමට ගිය තරුණයින් පිරිසකගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. එලෙස සොයා ගැනුණු පුපුරණ ද්‍රව්‍ය අතර ඩෙටනේටර් 99 ක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 ක් සහ යුද්ධ හමුදාව විසින් උත්සව අවස්ථාවල භාවිත කරන දුම්බෝම්බ 08 ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළා.