Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාවේ මත්පැන් අලෙවිය යළි තහනම්




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දකුණු අපි‍්‍රකාවේ මත්පැන් අලෙවිය යළි තහනම් කර තිබෙනවා. ඒ, එරට ජනාධිපති සිරිල් රම්පෝසාගේ නියෝගයකට අනුවයි.

මත්පැන් පානයෙන් පසු  හටගන්නා පුද්ගල ගැටුම් අවම කිරීම, ගෘහස්ථ හිංසනය අවම කිරීම සහ සති අන්ත මත්පැන් සාද නැවැත්වීම එහි මූලික අරමුණු වනවා.

මේ වසර තුළ දෙවන වරටත් දකුණු අපි‍්‍රකාව තුළ එලෙස මත්පැන් සඳහා තහනමක් පැනවුණේ, පළමු වරට පැවති මාස තුනක මත්පැන් තහනම ඉවත් කර සති කිහිපයකට පසුවයි.

පළමු වරට මත්පැන් තහනම පනවා තිබූ කාල සීමාවේදී නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ හදිසි වාර්තාවීම් ඉතා අවම මට්ටමක පැවති බවට වෛද්‍යවරුන් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා.

දකුණු අපි‍්‍රකාවට පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 15 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අද සිට කි‍්‍රයාත්මක වන පරිදි රාතී‍්‍ර 09.00 සිට අලූයම 04.00 දක්වා මහජනතාවට එළිමහනේ ගැවසීම ද තහනම් කර තිබෙනවා. එම කාල වේලාවෙන් පසුව එළිමහනේ ගැවසෙන පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනිවාර්යය වන බවයි දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ.

මේ අතර, වැඩිම නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ දකුණු අපි‍්‍රකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි. මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 76,000 කට අධිකයි. කොරෝනා මරණ 4,079 ක් මේ වනවිට වාර්තා වුව ද, දකුණු අපි‍්‍රකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වසර අවසානය වනවිට රට තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවිය හැකි බවයි.