Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා බලපෑම් හමුවේ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී




නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුව අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ, ඒ සඳහා සුදුසු කාලය මෙය නොවන බවයි.

සමුළුවක් වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත පුද්ගලයින්ගේ ජීවිත අවදානමට ලක් කළ නොහැකි බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කළේ. සමුළුව නොපැවැත්වුව ද සමුළුව අමතා සිදු කිරීමට නියමිත සිය කතාව වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන බව ද ජනාධිපති ට‍්‍රම්ප් පවසා තිබෙනවා. 

මීට පෙර රිපබ්ලිකන් පක්ෂ සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කැරොලිනා ප‍්‍රාන්තයේදීයි. නමුත්, ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක සමාජ දුරස්ථභාවයන් පිළිබඳ නීති හේතුවෙන් සමුළුවට සහභාගී වන පුද්ගලයින් ගණන සීමා කරන ලෙස, ඩිමොක‍්‍රටික් පාක්ෂිකයෙකු වන උතුරු කැරොලිනා ආණ්ඩුකාරවරයා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ හේතුවෙන්, අදාළ උත්සවයෙන් කොටසක් ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පැවැත්වීමටයි ජනාධිපති ට‍්‍රම්ප් තීරණය කර තිබුණේ.

රිපබ්ලිකන් පක්ෂ සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 24 වැනිදා සිට 27 වැනිදා දක්වා දිනවලදීයි. එම සමුළුවේදී, නොවැම්බර් මාසයේදී සිය පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි පක්ෂ සාමාජිකයින් විසින් නිල වශයෙන් නම් කිරීමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 41ක් ලක්ෂ 69,153 ක්. නව්‍ය කොරෝනා මරණ එක්ලක්ෂ 47,297 ක් ද එරටින් වාර්තා වනවා.