Saturday, April 27, 2024

General line - 0115112241

රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය උණුසුම් වෙයි - චෙංඩු කොන්සල් කාර්යයාලය වසා දමන්නැයි චීනයෙන් අමෙරිකාවට නියෝග




අමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න කරමින්, චෙංඩු හි  අමෙරිකානු කොන්සල් කාර්යයාලය වසා දමන ලෙස චීනය අමෙරිකාවට නියෝග කර තිබෙනවා. චීනය පවසන්නේ, අමෙරිකාවේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යයාලය වසා දමන ලෙස අමෙරිකාව නියෝග කිරීමට ප‍්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි. චෙංඩු කොන්සල් කාර්යයාලය වසා දැමීමට චීනය අමෙරිකාවට ලබන සඳුදා තෙක් කල් ලබා දී තිබෙනවා. 

අමෙරිකාවේ අසාධාරණ කි‍්‍රයාමාර්ගයන් වෙනුවෙන් නීත්‍යානුකූල සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිචාරයක් දැක්වීම උදෙසා මෙම පියවර ගත් බවයි චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ. අමෙරිකාව සහ චීනය අතර වර්තමානයේ පවතින මතභේදාත්මක වාතාවරණය චීනය කිසිසේත් දැකීමට අපේක්ෂා කළ තත්ත්වයක් නොවන බවත්, ඊට අමෙරිකාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දමන ලෙස අමෙරිකාව පසුගිය 22 වනදා චීනයට නියෝග කිරීමෙන් පසුව දෙරට අතර උණුසුම් වාතාවරණයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. 

අමෙරිකාව එම පියවර ගෙන ඇත්තේ, හූස්ටන්හි චීන කොන්සල් කාර්යයාල භූමියේදී, හදුනා නොගත් පුද්ගලයින් පිරිසක් විසින් ලියකියවිලි පුළුස්සමින් සිටිනු දක්නට ලැබීමත් සමගයි. අමෙරිකානු බුද්ධිමය දේපළ හා අමෙරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු චීනයෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හූස්ටන් කොන්සල් කාර්යයාලය වසා දමන ලෙස චීනයට නියෝග කළ බවයි අමෙරිකාව ප‍්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත්, බුද්ධි තොරතුරු සෙවීමට තැත් කළ බවට අමෙරිකාව එල්ල කරන චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.