Friday, April 26, 2024

General line - 0115112241

රාජිත සහ රූමිට අගෝස්තු 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි 




හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අගොස්තු මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිතාසි නිකුත් කරන ලදී.

ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව  නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනාපත්‍ර ගොනු කරනු ලැබුවා.

ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු  කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක  යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර ඇත .