Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටීම උපයෝගි කොටගෙන මෙරට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි - ජනපති




මෙරට භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ගුදම් පහසුකම්, බහලූ‍ම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

බහාලූ‍ම් 24,000ක් ප‍්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. රට ආසන්නයෙන් යාත‍්‍රා කරන ජාත්‍යන්තර නෞකාවන්ට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත‍්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලූ‍විල් වරාය සංවර්ධනය කළ යුතු වනවා.
 
කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ප‍්‍රති නැව්ගත කිරීම, හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප‍්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි ද එම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ‍්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක‍්‍රමණික බහලූ‍ම් කේන්ද්‍රයක් බවට පත්කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් වුණා. 

රජය මැදිහත්වී ඉන්ධන ගබඩා  ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීමට සහ විශාල ප‍්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප‍්‍රදේශය ආශ‍්‍රිතව දියත් කිරීමේ යාත‍්‍රාංගනයක් ඉදිකිරීමට එහිදී ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප‍්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම සාකච්ඡුාවට එක්ව සිටි බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.