Friday, April 26, 2024

General line - 0115112241

නිලධාරීන්ගෙන් සිදුවන අතපසුවීම් නිසා ජාවාරම්කරුවන් බේරී යාම කණගාටුදායකයි - කොළඹ මහාධිකරණ විනිසුරුගෙන් ප්‍රකාශයක්




හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් සහ පරීක්ෂණ සිදු කරන අවස්ථාවන්හිදී නිලධාරීන්ගෙන් සිදු වන අතපසුවීම් සහ දෝෂයන් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට හසු නොවී බේරි යාම කණගාටුදායක තත්ත්වයක් බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද අවධාරණය කර සිටියා. 

මහාධිකරණ විනිසුරුවරයා මේ බව කියා සිටියේ හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 198.19 ක ප‍්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා සිටි විත්තිකරුවකු එම චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමේ නියෝගය නිකුත් කරමින්.

මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ සිදු කළ විමර්ශන නිළධාරීන්ගේ පරස්පර සාක්ෂි සහ විමර්ශන සටහන් හේතුවෙන් නීතියේ ප‍්‍රතිපාදන වලට අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ගැනීමට පැමිණිලිකාර පාර්ශවය අපොහොසත් වී ඇති බවයි මහාධිකරණ විනිසුරුවරයා එහිදී කියා සිටියේ. 

ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මස 26 වන දා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල අසලදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 198.19 ක් ප‍්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළා .

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.