Friday, April 26, 2024

General line - 0115112241

රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි 




හිටපු  අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ  2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින්  තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක්  ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. 

අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර ඇත.

පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.