Saturday, April 27, 2024

General line - 0115112241

නව ලොවට සරිලන පුරවැසියෙකු තනනා අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි - ජනපති ගෝඨාභය




අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. 

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් නොවිය යුතු බවත් රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාට ද ඉන් ප‍්‍රතිලාභ අත් විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ප‍්‍රායෝගික අවශ්‍යතාවන්ට ප‍්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන ලෙසයි ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන් හමුවේ කියා සිටියේ.

රටට ගැළපෙන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදු නොවීම වත්මන් රැුකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ.

රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත‍්‍රවල රැුකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පැවතිය ද ඊට අවශ්‍ය ශ‍්‍රම බලකාය අධ්‍යාපන ක‍්‍ර‍මය විසින් බිහිකර නොමැති බව ද එහිදී සාකච්ඡාවට ලක් වුණා.

තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ අතරමං වීමට ඉඩ නොතබා පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් පැහැදිළි මාර්ග සැලැස්මක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජාති, ආගම් බේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබාදීම අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම  රජයේ වගකීමක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

අධ්‍යාපනය මඟ හැරුණු දරුවන්ට, වයස් සීමාවකින් තොරව නැවත අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළගා වීමට නව ප‍්‍රතිිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

අමාත්‍ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර,  කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛිය ආයතනවල ප‍්‍රධානීන් එම සාකච්ඡාවට එක්ව සිටියා.