Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා නිසා රට වසාදැමීම වෙනුවට ඉතාලියෙන් නව සීමා




නව්‍ය කොරෝනා වෛරසයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ නව සීමා පැනවීමට ඉතාලිය සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දමනවා වෙනුවට සීමා පැනවීම යෝග්‍ය බව ඉතාලි අග‍්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේගේ තීරණය වී ඇති බවයි. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා විසින් මේවනවිටත් ඉතාලි වැසියන් හට නව සීමා පනවා තිබෙනවා. ඒ අනුව රාතී‍්‍ර 09 න් පසුව රාතී‍්‍ර කාලයට සීමා වන පරිදි ඉතාලියේ සියලූ පොදු ස්ථාන වසා දැමීමට එරට නගරාධිපතිවරුන්ට බලය හිමිවනු ඇති. එසේම අවන්හල් විවෘත කිරීමේ වේලාවන් ද සංශෝධනය කර ඇති අතර කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමට ද සීමා පනවා ඇතැයි සඳහන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ කාලය අපතේ නොහැරිය යුතු බව පැවසූ ඉතාලි අග‍්‍රාමාත්‍යයවරයා අවධාරණය කළේ රටේ ආර්ථිකය අඩපණ කරමින් රට වසා දැමීම වළක්වාගත යුතු බවයි. රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා රජය සියලූ කටයුතු සම්පාදනය කර ඇති නමුත්, සියලූදෙනාම තමන්ට පැවරී ඇති වගකීම ඉටුකළ යුතු බවයි ඉතාලි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ගතවූ දින කිහිපය තුළ ඉතාලියෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා. ඒ හමුවේයි නව සීමා පැනවීමට ඉතාලි රජය මෙලෙස කටයුතු කර ඇත්තේ. 

චීනයෙන් ආරම්භ වූ නව්‍ය කොරෝනා වෛරසය අනතුරුව දැඩි ලෙස පැතිර ගියේ ඉතාලිය තුළයි. ඉතාලියෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ 14, 241 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 36, 543 ක්.