Saturday, April 27, 2024

General line - 0115112241

මහර රැඳවියන් පැහැරගත් බි‍්‍රතාන්‍ය යුගයේ කඩු 02 ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට




මහර බන්ධනාගාරයේ සියළුම රැඳවූවන් ඔවුන් පෙර රඳවා සිටි වාට්ටු වෙත යොමු කිරීමට ඊයේ දහවල් කාලය වනවිට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා. 

ඒ, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවති විශේෂ මෙහෙයුමකින් පසුවයි. එලෙස වාට්ටු වෙත ඇතුළත් කිරීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් සියළුම රැඳවියන් පරීක්ෂාවට ලක් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එහිදී ඇතැම් රැඳවියන් සතුව තිබී මත්පෙති සහ උල් ආයුධ වැනි ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා. ඉකුත්දා 29 වනදා මහර  බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේදී ගැටුමට සම්බන්ධ පිරිස් ගොඩනැගිලිවලට දැඩි හානි සිදුකර තිබුණා. 

සියළුම වාට්ටුවල දොරවල් කඩා දමා තිබූ අතර රැඳවියන් යළි එම වාට්ටු වෙත ඇතුළත් කිරීමට පෙර එම දොරවල් පිළිසකර කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මහර  බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ තිබුණු බි‍්‍රතාන්‍ය යුගයට අයත් කඩු 02 ක් ද ගැටුමට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන තිබුණා. එම කඩු 02 ද අදාළ විශේෂ මෙහෙයුමේදී සොයාගෙන තිබෙනවා. 

ගැටුමට සම්බන්ධ රැඳවූවන් එම කඩු 02 කණ්ඩායම් 02 ක් ලෙස වෙන්ව තබා ගනිමින් ඔවුන්ට විරුද්ධ කණ්ඩායම්වල රැඳවූවන්ට එමගින් පහර දී කැපුම් තුවාල සිදු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. එම ගැටුම මෙහෙයවූ රැඳවූවන් 12 දෙනෙකු මේ වනවිට හදුනාගෙන ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා. 

රිමාන්ඞ් භාරයේ සිටින අදාළ පිරිසෙන් වැඩි දෙනෙකු මහා පරිමාණ මත්කුඩු ජාවාරම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නන් බවයි අනාවරණ වී ඇත්තේ.