Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 207ක්




ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 627 දෙනා අතරින්, ආසාදිතයින් 402 දෙදෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් ආසාදිතයින් 207 දෙනෙකුම කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වීම විශේෂත්වයක්. මීට අමතරව වැලිකඩ ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 104 දෙනෙකු, කොළඹ මහ නගර සභාවෙන් ආසාදිතයින් 49 දෙනෙකු හා කොලොන්නාව ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබුණා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුලදී කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,542 ක්. 

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ අත්තනගල්ල ප‍්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 25 ක්. කැළණිය ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් 04 වනදා සිට මේ දක්වා කාලය තුලදී ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6568 ක්. 

මීට අමතරව ඊයේ දිනයේදී රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු, කලූතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 30 දෙනෙකු, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු හා අම්පාර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනුණු බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර පූනානි කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා ආසාදිතයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස්රථයක් වැලිකන්ද, අසේලපුර ප‍්‍රදේශයේදී අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

මේ අතර මුහුණු ආවරණ පැළඳ නොසිටි සහ පුද්ගල දුරස්ථභාවය අනුගමනය නොකළ තවත් පුද්ගලයින් 27 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ පැළඳ නොසිටි සහ පුද්ගල දුරස්ථභාවය අනුගමනය නොකිරීම යටතේ පුද්ගලයින් 1,014 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.