Friday, April 26, 2024

General line - 0115112241

වැලිසර ළය රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා මෙහෙයුම්




තවත් කොරෝනා මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිතව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මියගිය පිරිමි පුද්ගලයින් අතරින් එක් අයෙකු කොළඹ 15 මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි වියේ පසුවූ අයෙක්. ඔහු ඉකුත් 12 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මරණයට හේතුව කොවිඞ් නියුමෝනියා තත්ත්වයයි.

කොරෝනා ආසාදිතව මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි වියේ පසුවූ අයෙක්. ඔහු ඉකුත් 12 වනදා නිවසේදීම මියගොස් ඇති අතර මරණයට හේතුව කොවිඞ් නියුමෝනියා තත්ත්වයයි. 

කොරෝනා ආසාදිතව සිටි සිටි 60 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් ද මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඇය කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්. කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී කොවිඞ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඇය ඉකුත් 14 වනදා මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 157 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

මේ අතර වැලිසර ළය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු එම රෝහලෙන් පළා ගොස් තිබෙනවා. ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු එලෙස පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. අදාළ පුද්ගලයා සොයා පොලීසිය මේවනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඞ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

එලෙස පළාගිය කොරෝනා ආසාදිතයාගේ ජායාරූපයක් පොලීසිය මගින් මේවනවිට ප‍්‍රසිද්ධියට පත් කර තිබෙනවා. අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ලදහොත් ළගම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.