Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා ගැන සොයන්න එන WHO විමර්ෂණ කණ්ඩායමට චීනය අවසන් මොහොතේ දොර වසයි




කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා චීනයට යැවීමට සුදානම් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දස පුද්ගල විමර්ෂණ කණ්ඩායමට චීන බලධාරින් විසින් අවසර ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom Ghebreyesus සඳහන් කළේ චීනය විසින් වෛරසවේදය සම්බන්ධ විමර්ෂණ කණ්ඩායමට රටට ඇතුළුවීමට අවසර නොදීම ඉතා කණගාටුදායක ක්‍රියාවක් බවයි.

" අපගේ විමර්ෂණ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් කල් තියා ගමන් ආරම්භ කර තිබුණා. නමුත් අනෙක් සාමාජිකයින් වීසා නොලැබීම නිසා අවසන් මොහොතේ එය අවලංගු කළා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා.

චීනයේ බලධාරීන් සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට බලාපොරොත්තුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

2019 වර්ෂයේ චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොවපුරා මිලියන 86ක ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් මිලියන 1.8ක් මියගොස් තිබෙනවා.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ෂණ සිදුකිරීම ප්‍රමාද වීමගැන අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉකුත් වසරේ දැඩි දෝෂදර්ශණයට ලක් කර සිටියා.