Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවට කළු පැල්ලමක් එක් කළ විරෝධතාවය : ජනපති ට්‍ර්ම්ප් ගේ ආධාරකරුවන් කොංග්‍රස් ගොඩනැගිල්ලේ පාලනය නතුකර ගනියි (PHOTOS)




අමෙරිකාවේ වොෂින්ටන් DC ප්‍රදේශයට හදිසියේ ඇඳිරි නිතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල තුලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම නිසා ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන්.

ඉකුත් නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන් තේරීපත්වූ ජෝ බයිඩ්න් ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරිම ඊයේ දිනයේ නියමිතව තිබුණා.

කෙසේ වුවත් මැතිවරණ ප්‍රථිපල පිළිගත නොහැකි බව පවසමින් දහස් සංඛ්‍යාත ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවරට රැස්වී සිටියා.

කොංග්‍රස් මණ්ඩල රැස්වීම ආරම්භ වීමත් සමගම ඊට විරෝධය පළ කරමින් රැස්ව සිටි දහස් සංඛ්‍යාත ට්‍රම්ප් ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන Capitol ගොඩනැගිල්ල ආක්‍රමණය කිරිමත් සමග එහි ආරක්ෂාව තහවුරු කිරිමට පොලිසියට අමතරව ජාතික ආරක්ෂක බලමුළුව කැඳවීම ද සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

රැස්ව සිටි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබු අතර ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පැය 03 කට ආසන්න කාලයක් ගොඩනැගිල්ලේ පාලනය ඔවුන් යටතට ගෙන තිබුණා.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වෙඩි වැදීමෙන් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇතිවූ තත්ත්වය ලොවපුරා රාජ්‍ය නායකයින් තම කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.

ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් ද තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් විසින් රැගෙන එන්නට ඇතැයි සැකකෙරෙන පයිප්පයක් තුල සකස් කරන ලද බෝම්බයක් ද සොයා ගැනීමට හැකිවූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කර සිටියා.