Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට ප‍්‍රබල භූ කම්පනයක් - රෝගීන් රැසක් රෝහලක් තුළ සිරවෙයි




ඉන්දුනීසියාවට අද අලූයම ප‍්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වුණා. විදෙස් වාර්තා පැවසුවේ එරට සුලාවෙසි දුපතේ සිදුව ඇති එම භූ කම්පනය මැග්නිටියුඞ් ඒකක 6.2 ක ප‍්‍රභලත්වයෙන් යුතු බවයි. ඉන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 600 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. 

කම්පන තත්ත්වය තත්පර 07 ක පමණ කාලයක් දැනී ඇති බවත්, ඒ හමුවේ පුද්ගලයින් රැුසක් සිය නිවාස වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යොමුව ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේවෙතත්, ඉන්දුනීසියානු බලධාරීන් කිසිඳු සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණේ නැහැ. පසුකම්පන තත්ත්වයන් පිළිබඳ ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

භූ කම්පනයෙන් දේපළ හානි රැසක්ද වාර්තා වනවා. විනාශ වී ඇති ගොඩනැගිලි අතරට නිවාස, හෝටල් සහ රජයට අයත් ගොඩනැගිලි ද අයත්. ඊට අමතරව භූ කම්පනය හේතුවෙන් සුලාවෙසි දුපතේ පිහිටි රෝහලක් කඩා වැටී තිබෙනවා. එහි සුන්බුන් අතර සිරවී සිටින රෝගීන් ඇතුළු කාර්යය මණ්ඩලය සාමාජිකයින් මුදා ගැනීම සඳහා ප‍්‍රබල මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි.  
ගිනි වළල්ලක් මත පිහිටා ඇති ඉන්දුනීසියාවට භූ කම්පනවල බලපෑම් සුලභ වනවා.