Friday, April 26, 2024

General line - 0115112241

තැන් 03 ක, දින 03 ක් මගුල් කෑ මනාල යුවළකට කොරෝනා - පවුල් 100 ක් නිරෝධායනයට




දින 03 ක් ස්ථාන 03 කදි විවාහ මංගල උත්සව සැමරුම් පැවැත්වූ මනාල යුවළකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මෙම මංගල උත්සව පවත්වා ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේයි. මේ හේතුවෙන් මෙම උත්සව 03 ටම සහභාගී වු පවුල් 100 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.

කඩුවෙල, පාදුක්ක සහ වටරැක යන ප්‍රදේශවල මෙම විවාහ උත්සව පවත්වා ඇති නමුත්, නිවසේ පැවැත්වූ උත්සවය සඳහා අවසර ලබාගෙන නොමැති බවටයි වාර්තා වන්නේ. 

මේ අතර හෝමාගම, පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වූ මංගල උත්සවයක මනාළ යුවළට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. උත්සවයට සහභාගී වූ 25 දෙනෙකුට සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණවලදී ඉන් 12 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. 

මේ අතර සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිතයින් සඳහා, පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම්වලට අවසර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.