Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය කොරෝනා එන්නත, එන්නත්කරණය සදහා බස්නාහිර රෝහල් වෙත

ටී කේ ජී කපිල




ඉන්දීය රජය ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත් පළමු තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත අද දහවල් නිල වශයෙන් භාරදෙනු ලැබුවා. ඒ, කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදීයි.

එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මුම්බායි නුවර, සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන අතර එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 ක් රැගත් ඉන්දීය විශේෂ ගුවන් යානය අද පෙරවරු 11.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත ළඟා වුණා.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන ආ මෙම එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 1,323 ක්. එම එන්නත් තොගය ගුවන් තොටුපොල, ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර, ගීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණ වන පරිදි බෙදා හැරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව එන්නත්කරණ කටයුතු බස්නාහිර පළාතේ රෝහල් 6 කදි හෙට සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ ක්‍රියාකරන එක් ලක්‍ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක් ලක්‍ෂ විසි දහසක් වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවල පිරිස් වෙත මෙම එන්නත පළමුව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඉන්දීය රජයෙන් ප්‍රදානයක් ලෙස හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත හෙට දිනයේ එන්නත් කටයුතු සිදුකරන මධ්‍යස්ථාන වෙත අද පස්වරුවේ යොමු කෙරුණා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.

එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

එන්නත් ලබාගැනීම පුද්ගලයින්ගේ ස්වාධීන තීරණයක් බවත් අකමැති අයට එය නොගෙන සිටීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර චීන රජයෙන්ද ප්‍රදානයක් ලෙස එරට නිෂ්පාදිත සයින ෆාමා නමැති එන්නත් මාත්‍රා ලක්‍ෂ 3 ක් පෙබරවාරි මස මැද භාගය වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.