Saturday, April 27, 2024

General line - 0115112241

වැඩි වැටුප් ඉල්ලා අවසන් පැයේදී චමින්ද වාස් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි 




බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යෑමට අවසන් හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකාර තනතුරට පත්වූ චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වේග පන්දු පුහුණුකාර තනතුරෙන් චමින්ද වාස් ඉල්ලා අස්වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා චමින්ද වාස් සහභාගී නොවනු ඇත.

ලොවපුරා රටවල් සහ කේෂ්ත්‍ර මේ වන විට මුහුණදී ඇති ආර්ථික ගැටළු සහගත වාතාවරණයක් තුල කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් සිය පෞද්ගලික ආර්ථික වාසිඅභිමථාර්ථයන් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යෑමට ආසන්නයේ සිටියදී සිය තනතුරෙන් ඉවත්ව යෑමට චමින්ද වාස් වැනි ප්‍රවීන ක්‍රීඩකයෙකු ගේ ක්‍රියා කළාපය වගකීම් විරහිත කරුණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහ සහ රට වෙනුවෙන් චමින්ද වාස් ඉටුකළ සේවය සහ දැක්වූ දක්ෂතා ඉතා අගය කොට සලකනු ලබන බවත් ඔබ වැනි ප්‍රවීන ක්‍රීඩකයෙකු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම දඩමීමා කර ගනිමින් අවසන් පැයේදී මෙලෙස ඉල්ලා අස්වීම කිසිසේත් අනුමත නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.