Friday, April 26, 2024

General line - 0115112241

හමුදා කුමන්ත්‍රණයට මාසයයි - මියන්මාරය අස්ථාවර අඩියක




මියන්මාරයේ හමුදා කුමන්ත‍්‍රණයට අදට මාසයක් සම්පූර්ණ වනවා. ඉකුත් පෙබරවාරී 01වනදා මියන්මාරයේ හමුදාව සිය රටේ පාලනය තමන් යටතට ගත් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචි ඇතුළු පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් නිවාස අඩස්සියට පත් කිරීමත් සමගයි. එතැන් පටන් ආරම්භ වූ මියන්මාරයේ විරෝධතා තවමත් අවසන් වී නැහැ.  

ඊයේ දිනයේ සැලකෙන්නේ එම විරෝධතාවල දරුණතම දිනයක් ලෙසයි. ඒ, එරට ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින් මියන්මාර විරෝධතාකරුවන් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව මානව හිමිකම් බලධාරීන් ප‍්‍රකාශ කිරීමත් සමගයි. මියගිය අය අතරට පොලිස් නිලධාරියෙකු ද අයත්. මානව හිමිකම් බලධාරීන් පවසන්නේ ආරක්ෂක අංශ විරෝධතා මර්දනය කිරීමට සජිවි පතොරම් සහ කඳුළු ගෑස් යොදා ගෙන ඇති බවයි.

මියන්මාර නායිකා අවුන් සාන් සුචි ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන එරට පාලනය හමුදාව යටතට ගැනීමත් සමඟ රට පුරා විරෝධතා ක‍්‍රියාමාර්ග ආරම්භ වුණා. විරෝධතා පාලනය සඳහා එරට ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාර හමුවේ විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මීට අමතරව විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද රඳවා ගැනීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව සඳහන්.

ඉකුත් මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප‍්‍රමාණවත් පාර්ලිමේන්තු බලයක් දිනා ගත්තා. ඒ, සියයට 83ක බහුතරයක් සමගයි. ඔවුන්ගේ ප‍්‍රධානත්වයෙන් එරට පාර්ලිමේන්තුව රැස්වීමට තිබූ ඉකුත් පෙබරවාරී 01වනදා මියන්මාර ආරක්ෂක අංශ විසින් එරට පාලනය තමන් යටතට ගනු ලැබුවා. 

 2011 වසරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක‍්‍රියාත්මක වූයේ, හමුදා පාලනයක්. 2015 වසරේදී එරට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පැවැත්වුයේද වසර 25කට පසුවයි. ඒ අනුව යළි මියන්මාරය තුළ හමුදා පාලනයක් කි‍්‍රයාත්මක වන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.