Saturday, April 27, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි තරගයේ කාන්තා ශූරතාව යුද හමුදාවට




22 වන ගුවන් හමුදා පා පැදි සවාරිය මේවනවිට ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා. අද උදෑසන පිරිමි තරගය ආරම්භ වූයේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින්. පිරිමි තරගය කොළඹ සිට කටුනායක ගුවන් හමුදා කඳවුර දක්වා ක්‍රියාත්මකයි. මිනුවන්ගොඩ, දිවුලපිටිය, නාරම්මල, කුලියාපිටිය මාදම්පේ, වයික්කාල හා තෝප්පුව පසුකරමින් මේවනවිට පිරිමි තරගකරුවන් කටුනායක තරගයේ අවසන් ස්ථානය වෙත ලගා වෙමින් සිටිනවා. මේවනවිට තරගය ආරම්භ වී පැය 03 ටත් අධික කාලයක් ගතවී අවසන්. 

ගුවන් හමුදා පා පැදි සවාරියේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්. 

මේ අතර 22 වන ගුවන් හමුදා පා පැදි සවාරියේ කාන්තා තරග අංශයේ ජය මෙරව හිමිවූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටයි. අංක 07 න් යුද්ධ හමුදාව නියෝජනය කරන උදේශානි නිරංජනී, තරගය ඉතා පහසුවෙන් ජය ගත්තේ දෙවන පොකුර සමග දිගු පරතරයක් ද රඳවා ගනිමින්. කෙසේවෙතත් 02 වන සහ තුන්වන ස්ථාන හිමිවූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි. ඒ අනුව අංක 04 න් තරග වැදුනු පංචාලි සුලෝචනා, 02 වන ස්ථානයටත්, අංක 1 න් තරග වැදුනු දිනේෂා දිල්රුක්ෂි 03 වන ස්ථානයටත් පත්වුණා.

22 වන ගුවන් හමුදා පා පැදි සවාරියේ කාන්තා තරගය අද පෙරවරුවේ ආරම්භ වූයේ ඒකල ගුවන් හමුදා කඳවුර අසලින්. තරගය සඳහා ක්‍රීඩිකාවන් 25 දෙනෙකු එක්ව සිටියා. දිවුලපිටිය, ගිරිඋල්ල, පන්නල, දංකොටුව සහ තෝප්පුව පසුකරමින් කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින් තරගය නිම වුණේ කිලෝ මීටර් 71 ක දුරක් ගෙවා දමමින්. 

මෙහි නිල අනුග්‍රාහකයින් ලෙස පීපල්ස් ලිසිං සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මයි කෝලා කටයුතු කරනවා. මෙවර පාපැදි සවාරියේ නිල රේඩියෝ අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.