Saturday, April 27, 2024

General line - 0115112241

20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය කොදෙව්වන්ට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා.

ඒ දෙරට අතර ඇන්ටිගුවා හිදි අද පැවති තීරණාත්මක 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කඩුලූ 3කින් ජය ගනිමින්. ශ්‍රී ලංකා පිල අඛණ්ඩව ලද සිවුවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි පරාජය ද මෙය වනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4ක්දැවී ලකුණු 131ක් රැස් කිරීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලූ 4 බිද වැටුනේ ලකුණු 46ක්ව තිබියදියි.

සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් සහ යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර 5 වන කඩුල්ල සදහා ලකුණු 66ක සබදතාවක් ගොඩනැගුවා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත්වුණා.  

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබදතාව 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංාකික ක්‍රීඩකයින් දෙපළක් පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු හොදම සබදතාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් මෙම තරගය ජය ගත්තා.

නායක කිරන් පොලාඩ් ලකුණු නොලබා දැවී ගිය අතර, නිකලස් පූරාන් ලකුණු 23ක් සහ ක්‍රිස් ගේල් ලකුණු 13ක් රැස් කළා.

ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 14ක් සහ ෆෙබියන් ඇලන් නොදැවී ලකුණු 21ක් රැස් කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කොදෙව් කණ්ඩායමට අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 20ක් ලබා ගත යුතුව තිබූ අතර, 19 වැනි පන්දුවාරයේ දී අකිල ධනංජයට එරෙහිව ලකුණු 22ක් ලබා ගනිමින් කොදෙව් පිල මෙම තරගාලියේ ජය තමන් සතු කර ගත්තා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් ලකුණු 29කට කඩුලූ 3ක් ,වනිදු හසරංග ලකුණු 13කට කඩුලූ 2ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 23කට කඩුලූ 2ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කොදෙව් ක්‍රීඩක ෆෙබියන් ඇලන්.

මෙම විස්සයි විස්ස තරගාවලියේදී පන්දුවාර 12ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 42කට කඩුලූ 8ක් බිද හෙලූ වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් පැතුම් නිස්සංක සහ අශේන් බණ්ඩාර මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්විමද විශේෂත්වයක්.

මේ අතර ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගිවන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ජොන්ටි රූඩ්ස් නායකත්වය දරන දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රි 7ට ආරම්භ වනවා.