Friday, April 26, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාර අවධානමක් නිසා ඉන්දුනීසියාව සීරුවෙන් : මොසැම්බික් රාජ්‍යයටත් IS ප්‍රහාරයක්




ගිනි අවියක් අතින් ගෙන ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මුලස්ථානයට ඇතුල්වූ කාන්තාවක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කලු පැහැති ඇඳුමකින් සහ නිල් පැහැති මුහුණු ආවරණයක් පැළදි කාන්තාවක් පොලිස් මුලස්ථානයේ පිහිටි රථ වාහන අංගනයට ඇතුල්වී එහි සිටි නිලධාරින් දෙසට තමා අතැති ගිනි අවිය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. වහාම ක්‍රියාත්මක වූ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම කාන්තාවට වෙඩි තබා ඇති අතර එම ප්‍රහාරයෙන් ඇය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන කාන්තාවගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු වී නොමැති අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් සේ සලකන බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පසුගිය ගොක් ඉරිදා ඉන්දුනීසියාවේ සුලවාසි දුපතේ පිහිටි කතෝලික දේවස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ISIS සංවිධානයට සම්බන්ධ Jamaah Anusharut Daulah (JAD) නම් ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයින් දෙදෙනෙකු වන අඹුසැමි යුවලක්ය. මෑත කාලයේදී විවාහ වී ඇති ඔවුන් රයිස් කුකරයක් තුල බෝම්බය සවිකොට ගෙන පැමිණ මෙලෙස මරාගෙන  මැරෙන ප්‍රහාරය එල්ල කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මේ අතර ඉදිරි දින කිහිපයේදී මෙවැනි ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවධානමක් ඇති බැවින් සියලුම ආගමික ස්ථාන හා මර්මස්ථානවල ආරක්ෂාව දැඩි කිරිමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

දිගු කාලයක් නිහඬව සිටි ඉස්ලාම් රාජ්‍ය උදෙසා වූ ත්‍රස්ත සංවිධානයේ අනුග්‍රාහකත්වය ලබන විවිධ ත්‍රස්ත කණ්ඩායම් සිය ත්‍රස්ත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පසුගිය දින කිහිපය තුලදී නිරීක්ෂණය වන බවයි 

පසුගියදා මොසැම්බික් රාජ්‍යයේ පාල්මා නම් නගරයක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ද ඉන් එකක් සේ සලකනු ලබනවා. එම නගරයේ පාලනය මේ වන විට අල් ෂබාබ් නම් ත්‍රස්ත කණ්ඩායම යටතේ පවතිනවා.

මෙම ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් භාර ගනු ලැබූ බවයි ඔවුන්ගේ තොරතුරු බෙදාහරිනු ලබන අමාක් නම් ප්‍රවෘත්ති සේවය සඳහන් කර සිටියේ.

ප්‍රහාරයෙන් ගෑස් සමාගම්වල සේවය කරනු ලබන විදේශිකයින් ඇතුළු මොසැම්බික් වැසියන් විශාල පිරිසක් ඝාතනයට ලක්ව ඇති බවට ප්‍රහාරයත් සමග බෝට්ටු වල නැගී පළා ආ පිරිස් ප්‍රකාශ කළත් මේ දක්වා සිදුව ඇති ජිවිත හානි සම්බන්ධයෙන් තහවුරු කළ නිල තොරතුරක් ලබා ගැනීමට නොහැකිව ඇත.