Friday, April 26, 2024

General line - 0115112241

සූර්යය සංක්‍රාන්තියෙන් අලුත් අවුරුද්ද උදාවෙයි - වැඩ ඇල්ලීමේ නැකත පෙරවරු 07 යි 41 ට




ලැබුවා වු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ජය, සතුට පිරී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි නෙත් එෆ් එම් රේඩියෝව ද ප්‍රාර්ථනා කරනවා. මෙම අලුත් අවුරුද්ද රෝග පීඩාවලින් සහ වෙනත් කරදරවලින් ද තොර අළුත් අවුරුද්දක් වේවායි නෙත් එෆ් එම් ප්‍රාර්ථනයයි. 

සිය ශ්‍රාවකයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුව සන්නිවේදන කාර්ය සිදුකිරීමත් ඉන් එහාට යමින් සමාජ සත්කාරක සේවා ඉටු කිරීමත් නෙත් එෆ්.එම් රේඩියෝවේ උත්සහය වනවා. ලබන්නාවු අලුත් අවුරුද්දේ ද මෙම මෙහෙවර වඩා හොඳින් ඉටු කිරීමයි නෙත් එෆ් එම් රේඩියෝවේ අපේක්‍ෂාව වන්නේ. 

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සැමරෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උදාව යෙදී තිබුණේ අද අලුයම 02 යි 33 ටයි. අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත අද පෙරවරු 06 යි 17 ට යෙදී තිබුණා. වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත යෙදී ඇත්තේ අද පෙරවරු 07.41 ටයි. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ. පුණ්‍ය කාලය ඊයේ රාත්‍රී 08 යි 09 ට උදාවූ අතර එය අවසන් වන්නේ අද පෙරවරු 08.57 ටයි. 

මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පෙරවරු 07.16 ට යෙදී තිබෙනවා. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නුග පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්. මෙරව අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 19 වනදා සඳුදා පෙරවරු 06.39 ටයි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් හා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යාම සුදුසු බව ද අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්. 

අලුත් අවුරුදු උදාවේ සියලු නැකැත්වලින් පසු විශේෂ ආශිර්වාද සෙත්කවි ප්‍රචාරය කිරීමට ද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර රටතුළ පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් අවුරුදු චාරිත්‍ර ඉටු කිරිමේදී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

උදාවූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද පිළිබඳ මහාචාර්ය මුදියන්සේ දිසානායක නෙත් නිවුස් වෙත පළ කළ අදහස්. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරනු ලබන්නේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ මහනුවර, දන්තුරේ, දෙල්දෙණියේ පිහිටි කොබ්බෑකඩුව වලව්වේ සිටයි. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.