Saturday, April 27, 2024

General line - 0115112241

වරාය නගර පනත් කෙටුම්පතෙහි වාචික දේශන අවසන්




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් වලට අදාළ සියලු වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුලු මොහොතකට පෙර  අවසන් කරන ලදී .

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත ඉදිරි දිනකදී යොමු කිරීමට නියමිතය .

මෙම පෙත්සම් වලට අදාළ පාර්ශවයන්ගේ ලිඛිත දේශන ලබන  අගහරුවාදා දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ අතරමැදි පාර්ශවයන්ට නියෝග කරන ලදී .කෙසේවෙතත් එම ලිඛිත දේශන වලට අදාළ මෘදු පිටපත් ඊමේල් පණිවුඩ හරහා සදුදා පෙර  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසට නියෝග කරන ලදී .

සිය වාචික දේශන අවසන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියේ මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බව දැනුම් දෙන ලදී .

ඒ අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ජන්දයෙන් සම්මත කළ හැකි බවත් ඒ අනූව ජනමත විචාරණයක් හෝ විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා .

සිය පිළිතුරු දේශන ඉදිරිපත් කරමින් එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි එරාජ් ද සිල්වා මහතා පවසා සිටියේ මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංලංකාවට සමාන්තරව ආර්ථික කලාපයක් බිහි වීම භයානක ත්ත්වයක් බවයි.

පසුගිය සදුදා (19) සිට අද දක්වා දින පහක් පුරා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලදී .

සමගි ජනබලවේගය , ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් 19 ක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබුණි .

ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර, අමාත්‍ය ජි.එල්. පීරිස් , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් 11 ක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණි .