Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවට, ඔස්ට්‍රේලියාවට පසුව චීනටයත් ඩෙල්ටා




මාස 06 කට ආසන්න කාලයකින් අනතුරුව පළමු වරට චීනයේ බීජිං නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ පැතිරීම වැළැක්වීමට චීන බලධාරීන් මහත් පරිශ්‍රමයක් දරන පසුබිමක් තුළ අගනුවරින් එලෙස ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බවයි. 

බීජිං නුවරින් එලෙස හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයාගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම හුනාන් ප්‍රදේශයේ සංචාරය කර ඇතැයි සඳහන්. 

මේ අතර ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 24 දෙනෙකුම ස්වදේශිකයින්. ඒ අනුව චීනයේ මේ දිනවල පැතිර යන කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 179 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්. 

මේ අතර චීනයේ නැන්ජින්ග් ප්‍රදේශයෙන් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇති බවට ද මේවනවිට වාර්තා පළ වනවා. මිලියන 9 යි දශම 3 ක ජනගහනයක් වෙසෙන නැන්ජින්ග් ප්‍රදේශය තුළ ඩෙල්ටා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බලධාරීන් දැඩි උත්සහයක නිරත වී සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.