Saturday, April 27, 2024

General line - 0115112241

කොතලාවල පනත් කෙටුම්පත ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තුවේදී




පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. අද දිනයේදී ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබද විපක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාවක් ඇතුළු විපක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා දෙකක්ද අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩු පක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා දෙකක්ද මෙම සතියේ විවාදයට ගැණෙනවා. මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද සිට ලබන 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුව පිළිබද යෝජනාව ලබන 5 වනදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද අද පස්වරු   2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.