Friday, April 26, 2024

General line - 0115112241

පූර්ණ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව, 50%හේ ඉලක්කය සම්පූර්ණ කිරීම අභියස




සමස්ථ ජනගහනයෙන් සියයට 50 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ රටවල් අතරට පත්වීමේ ඉලක්කය ආසන්නයට ළඟාවීමට ශ්‍රී ලංකාව සමත්වී සිටිනවා. 

ඒ, මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් ගණන එක් කෝටි හත් ලක්ෂ 47,236 ක් දක්වා ඉහළ යාමත් සමගයි. 

මෙරට ජනගහනයෙන් සියයට 50 ක් එන්නත්කරණය සම්පූර්ණ කිරීමේ ඉල්ලකයට ළඟාවීමට නම් පුද්ගලයින් එක් කෝටි නව ලක්ෂ 59,706 කට එන්නත් දෙකම ලබාදිය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ. 

ඒ අනුව එම ඉලක්කයට ළඟාවීම සඳහා තවත් පුද්ගලයින් දෙලක්ෂ 12,470 දෙනෙකුට දෙවන එන්නත් මාත්‍රාව ලබාදිය යුතුයි. ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුලත එම ඉලක්කයට ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්න්තකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 72,235 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් දෙවන එන්නත් මාත්‍රාව ලබාදී තිබෙනවා. 

ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන අසූ අට ලක්ෂ 9,628 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 47,409 දෙනෙකුට ලබාදී තිබෙනවා. 

ඒ, එම එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි හත් ලක්ෂ 78,875 ක් දක්වා ඉහළ නංවමින්.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,449 දෙනෙකුටත්, එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 977 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.